ආදරේ කරන ගොඩක් දෙනෙක් තමන්ගේ බැඳීම් තුළ ප්‍රශ්න , ගැටළු හදාගන්න හරි කැමතියි. සමහරු නම් කියන්නේ ආදරේ කරන දෙදෙනෙක් සතියකට සැරයක්වත් රණ්ඩු වුණේ නැත්නම් ඒ ජීවිතය නීරසයි කියලා. හැබැයි ආදර සම්බන්ධතාවයකදී, එහෙමත් නැත්නම් පවුලක් තුළ ඇති වන සමහර ගැටළු දුරදිග යන අවස්ථා ද ඕන තරම් තිබෙනවා. සමහර වෙලාවට ඒ සම්බන්ධතා කැඩිලා, divorce වන තරමට දුරදිග යනවා. ඊට පස්සේ ඉතින් සදාකාලිවකම වෛරක් කාරයෝ වගේ තමා ඉතින් ඉන්න වෙන්නේ. ඒ හින්දා මං මේ කියන්න යන්නේ ඔයාගේ පවුල තුළ, ආදර සම්බන්ධතාවය තුළ ඇති වන ගැටළු දුරදිග නොයවා සාර්ථකව විසඳාගන්නේ කොහොමද කියලා.
මිනිත්තුවකට සවන් දෙන්න

ආදර සම්බන්ධයක් තුළ ගැටළුවක් ඇති වූ ගමන් කරන්නේ දෙන්නම කතා කරනවා ඉවරයක් නැතුව. එක්කෙනෙක් කියන දේ අනෙක් කෙනා අහන්නෙම නැහැ. ඒ විදිහට දෙන්නම එකපාර කතාකරන්න උත්සහකරන එකෙන් වෙන් දේ තමයි අන්තිමට ඒ අදහස් දැක්වීම් ප්‍රශ්නයක් , රණ්ඩුවක් දක්වා දුරදිග යන එක.ඊට පස්සේ ඉතින් ගහමරා ගන්නවා.
ඒ නිසා දෙන්නම කතාකරන එක ටිකකට නවත්තලා එක්කෙනෙක් කියන දේ අහගෙන ඉන්න උත්සහ කරන්න. විශේෂයෙන්ම ඔයා ඉවසන්න පුරුදු වෙන්නම ඕන. ටික වෙලාවක් අනෙක් කෙනා කියන දේ අහගෙන ඉඳලා පස්සේ ඔයා කතා කරන්න. ඒ විදිහට ටිකක් කතාකරද්දි ගැටුමට හේතුව ඔයාටම වැටහේවි. එතකොට සුළු සුළු ගැටළු වලට නිකන්ම විසඳුම් ලැබෙනවා.
සාමාන්‍ය ස්වරයෙන් හඬ නගන්න

සාමාන්‍යයෙන් ගැටුමක් ඇති වුණාම නොදැනුවත්වම වාගේ ඔයාගේ කටහඬේ ස්වරය සහ වේගය ටිකක් වැඩි වෙනවා. ඒක ආවේගයත් සමඟ ඇති වන දෙයක්.උස්හඬ නිසා ඔයා අනිත් කෙනාගේ හඬ යටපත් කරන්න උත්සහ කරනවා. හැබැයි ඒ විදිහට උස්හඬින් කතාකරද්දි සිදු වන්නේ ආවේගය තවත් වැඩි වන එක විතරයි.හැබැයි සාමාන්‍ය ස්වරයෙන් අනිත් කෙනාට ඇහුම්කන් දෙන ගමන් කතා කරන එකෙන් ආදර සම්බන්ධය සිදු වන හානිය පාලනය කරන්න පුළුවන්.
ගැටලුවේ සීමාවෙන් පිට යන්න එපා

මිනිස්සු විදිහට අපි කොහොමත් තුරුම්පු එකතුකරගෙන ඉඳලා නරකම වෙලාවට ඇදලා ගහන්න හරි දක්ෂයි. ආදර සම්බන්ධයක් ඇතුලේ ගැටුමක් ආවම ගොඩක් වෙලාවට සිද්ධවෙන්නෙත් මේ වගේ දෙයක් තමයි. කාලයක් තිස්සේ හිරකරගෙන හිටපු දේවල්, පරණ වැරදි, අඩුපාඩු සේරම කියලා දෙන්නට දෙන්නා බැණගන්නවා ප්‍රශ්නයක් විසඳගන්න එක පැත්තක තියලා. මේකෙන් වෙන හිත්රිදීම් ප්‍රමාණය බොහොම වැඩියි. මොකද සංවේදීව කාරුණිකව ප්‍රශ්න කතාකරනවා වෙනුවට ප්‍රශ්නයේ වැට පැනලා ගිහින් තවත් කුණුගොඩවල් ගණනාවක් දෙන්නා අතරට ඇදලා දාගෙන ඒවා ගඳගහන්න ගත්තම දෙන්නටම අමාරුයි.
ඕනෑම කෙනෙක් ළඟ හොඳ ගතිගුණ වගේම නරක ගතිගුණත් තියනවා. එමෙන්ම ධනාත්මක දේවල් වගේම සෘණාත්මක දේවල් තියනවා. සාමාන්‍යයෙන් සම්බන්ධක් ගැටළුවක් ඇති වුණු ගමන් එක දිගට මතක් වෙන්නේ අනෙක් කෙනා කළ වැරදි, අඩුපාඩු විතරයි. හැබැයි ටිකක් ඔයාගේ හිත සන්සුන් කරගන්න බලන්න. අනෙකාගේ වැරදි විතරක් නෙවෙයි ඔහු කරපු පුංචි හෝ හොඳක් දකින්න පුරුදු වෙන්න. ඔයා එක්ක සතුටින් ගත කරපු කාලය, ඔයාව සතුටු කරන්න එයා කරපු දේවල් මතක් කරන්න. එතකොට ඔයාගේ හිතට ඇති වන තරහා, වෛරය, නරක සිතුවිලි සියල්ල නිකන්ම මැකිලා යාවි.



