Like
Like Love Haha Wow Sad Angry
71

ජීවිතේ නොයෙක් අවස්ථාවන් වලදී අපි හැමෝම යම් යම් සිදුවීම් නිසා මානසික ඇදවැටීම්වලට ලක්වෙලා තියෙනවා. නමුත් ඒ ඇදවැටීම් නිසා හැමදාම දුකෙන් ජීවත් වෙන්න අපිට බැහැ. මානසිකව කොයිතරම් ඇදවැටුනත්, ආත්ම විශ්වාසය වර්ධනය කරගෙන ඒ හරහා ජීවිතේ සාර්ථක කරගන්න ඕනෙම කෙනෙක්ට පුළුවන්. තමන්ට තමා පිළිබඳව ඇතිවන විශ්වායට අපි කියන්නේ ආත්ම විශ්වාසය කියලා. හොඳ ආත්ම විශ්වාසයකින් යුක්ත කෙනෙක්ට බොහෝ දේවල් කරන්න පුළුවන්. ඔයා ඇවිදින, හැසිරෙන, කතාකරන විදියෙන් පවා ඔයාගේ ආත්ම විශ්වාසය ප්‍රතිරූපණය වෙනවා. අපි හැමෝගෙම ජීවිතවල යම් යම් දුෂ්කර කාල පරිච්ඡේදයන් තියෙනවා. අන්‍යයන් තමන්ව නොසළකාහැරීම, රැකියාව අහිමිවීම, ප්‍රේමයෙන් පරාජය වීම, ආර්ථික දුෂ්කරතා, ළඟම හිතවතෙකුගේ වියෝව, නොයෙක් අසනීප තත්ත්වයන් වගේ දේවල් වගේම තවත් බොහෝ හේතූන් නිසා ඇතිවන මානසික බිඳවැටීම හරහා අපේ ආත්ම විශ්වාසය බිඳී ඇති වාර අනන්තයි. මේ ආකාරයේ ජීවන අත්දැකීම්වලට ඉඳිරියටත් අපිට මුහුණදෙන්නට සිදුවෙන්න පුළුවන් . මොනම ආකාරයක අයහපත් දෙයක් වුණත්, ආත්ම විශ්වාසය බිඳ නොවැටී තියාගන්න අපි කටයුතු කරන්න ඕනෙත් ඒ නිසාමයි.

ගිලිහී ගිය ආත්ම විශ්වාසය යළිත් ඇතිකරගැනීම එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් උත්සාහය තියෙනවා නම් එහෙම කරන්න බැරි කමකුත් නැහැ. ඉතින් දැන් අපි බලමු ඉක්මණින්ම ඔයාගේ ආත්ම විශ්වාසය වර්ධනය කරගෙන වඩාත් සතුටින් යුතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා. ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න කලින් මුලින්ම දැනගන්න ඕනේ ඔයා දුර්වල ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙක්ද කියලා. ඉතින් ඇත්තටම කොහොමද ඔයාට තියෙන්නේ දුර්වල ආත්ම විශ්වාසයක්ද කියලා බලාගන්නේ ?අන්න ඒකට ඔයා ඔයාගෙන්ම මේ ප්‍රශ්න 8 අහලා බලන්නකෝ.

  1. ඔයා ඔයාගේ රූපයට කැමතිද ?
  2. ඔයා ඔයාගේ පැහැයට සහ ස්වරූපයට කැමතිද ?
  3. ඔයා සාර්ථකයි කියලා දැනෙනවාද ?
  4. යමෙකු ඔයාගේ අඩුපාඩු පෙන්වා දෙනවාට කැමතිද ?
  5. අන් අයගේ ආදරය ඔයාට දැනෙනවාද ?
  6. ඔයා සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ලබා ගැනීම සඳහා වැඩ කරනවාද ?
  7. අන් අය සාර්ථක වන ආකාරය දකින කොට ඔයා සතුටු වෙනවාද ?
  8. යමෙකු ඔයාට බොරු චෝදනා කරන කොට ඔයාට දරා ගන්න පුලුවන්ද ?

මේ ප්‍රශ්න 8 න් වැඩි ප්‍රමාණයකට ඔයාගේ පිළිතුර “නැහැ” නම් එයින් හැඟවෙන්නේ ඔයාගේ ආත්ම ශක්තිය දුර්වල බවයි. එහෙනම් ඔයා ආත්ම විශ්වාසය වර්ධනය කරගන්නේ කොහොමද ?

තමන්ටම ගරු කරන්න පුරුදු වෙන්න

මේ ලෝකේ ජිවත් මිනිස්සු හැමෝම එකිනෙකාගෙන් වෙනස්. ඒ නිසා රූපය, දක්ෂතාවය සහ ගතිගුණ වගේ දේවල් එකිනෙකාගෙන් වෙනස් වෙනවා. හැබයි ඔයා මතක තියාගන්න ඕනේ දෙයක් තමයි ඔයාට ඔයාගෙම කියලා විශේෂත්වයක් තියෙනවා. ඒ නිසා තමා තමාටම ගරු කළ යුතුමයි. අපි අපේ දුර්වලතා ගැන හිතන එක අඩු කරලා, අපේ විශේෂතාවයන්ට ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ .

සංසන්දනය කරන්න එපා

ගොඩක් දෙනෙක්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් තමයි තමාව එකිනෙකා සමඟ සංසන්දනය කිරීමට උත්සාහ කිරීම. ඔයා ජය ගත යුත්තේ ඔයාගෙම ක්‍රමයට මිස, අනිත් කෙනා ජය ගත් ක්‍රම වලට නෙමෙයි . මොකද තමන්ට හුරුපුරුදු ක්‍රමවේදයකට ආත්ම විශ්වාසයෙන් යුතුව තමන්ගේ පාරේ යනකොට ජය ගන්න එක ඉතා පහසුයි. අඩු ආත්ම විශ්වාසයකින් අනුන් කරන දේවල් ගැන හොය හොයා යනකොට වෙන්නේ ඔයාගේ ගමනේ වේගය අඩු වෙන එක විතරයි.

වැරදෙනවට බය වෙන්න එපා

වරදින්නේ ඔයාට විතරක් නෙමෙයි . මේ ලෝකයේ යුද්ධ වලින් ජය ගත් රජවරු, මහා ව්‍යාපාර ගොඩනගපු මිනිස්සු තමන්ගේ අරමුණු සාර්ථක කර ගත්තේ එක සැරේ නෙවෙයි. ඔවුන්ටත් වැරදුණා. ඒත් දිගටම උත්සාහ කිරීම මඟින් ඔවුන් ජය ගත්තා
හොදම උදාහරණය තමයි තෝමස් අල්වා එඩිසන්. විදුලි බුබුල සොයාගන්න ගිහින් ඔහුට 999 වතාවක් වැරදුණා. නමුත් ඔහු තමන්ගේ උත්සාහය අතහැරියේ නැහැ. මොකද වැරදීම් නැත්නම්, වැරදීම් වලින් අපි ඉගෙන ගන්නේ නැතිනම් කවදාවත්ම අපිට සාර්ථක වෙන්න ලැබෙන්නේ නැහැ . කෙටියෙන්ම කිව්වොත් වැරදීම් කියන්නේ ආත්ම විශ්වාසය නැති කර ගන්න හේතුවක් නෙවෙයි.

හොදම යාළුවො විතරක් තෝරාගන්න

ඔයාගේ වැරදි වලට හිනාවෙන යාළුවෝ නෙමෙයි, ඔයාව දිරිමත් කරලා නිවැරදි මාර්ගය පෙන්වන යාළුවෝ විතරක් ජිවිතයට තෝරා ගන්න. යහපත් මිතුරන් ඔයාට අත දෙනවා. සැපේදී වගේම දුකේදීත් නොසැලී ළගින්ම ඉන්නවා. හොදම යාළුවො කියන්නේ ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරන්න පුළුවන් magic එකක් . ඉතින් ඔයාටත් ඉක්මනින්ම ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න ඕනේ නම් යහපත් මිතුරන් සමඟ වැඩිපුර ගැවසෙන්න.

හැම වෙලේම ප්‍රයෝජනවත් දෙයක් කරන්න

ඔබේ ජීවිතය ගෙවන්නන් වාලේ ගෙවන්න එපා. අන්තර්ජාලයේ සැරිසරමින් කාලය නාස්ති කරන එක අඩු කරන්න. ඒ වෙනුවට ඔබේ අනාගතය වෙනුවෙන් යමක් කරන්න. රැකියාවක් කරන්න. නැති නම් ඔබේම සුළු ව්‍යාපාරයක් පටන් ගන්න. මොනවා හෝ අළුත් යමක් ඉගෙන ගන්න. පිළිගත් පාඨමාලාවක් හදාරන්න. එවිට ඔබටම ඔබ ගැන වටිනාකමක් දැනෙන්නට පටන් ගනීවි. ඒ වගේම අයට උදව් කරන්න. කරුණාවෙන් සලකන්න. දුකෙන් ඉන්න කෙනෙක්ට උදව් කළාම, හොඳින් සැලකුවම සිතට තෘප්තියක් දැනෙනවා. යහපත් දෙයක් කලාට පස්සේ ඔයාට ඔයා ගැන ආඩම්බරයක් දැනෙනවා. ඒ තෘප්තිය සහ ආඩම්බරය සමඟ බලාගෙන ඉන්නකොට ඔයාගේ විශ්වාසය දියුණු වෙනවා.

ලේසිම ඉලක්කයක් follow කරන්න

ඉලක්ක කියන්නේ සාර්ථක වෙන්න කැමති හැම කෙනෙක්ටම තියෙන්න ඕනේ දෙයක් . නමුත් සමහරුන් ඉටු කර ගැනීමට අපහසු ඉලක්ක ඇති කරගෙන ඒවා ඉටු කර ගැනීමට නොහැකි වීම ගැන දුක් වෙමින් තමන්ගේ ආත්ම විශ්වාසය බිඳ ගන්නවා. ඉතින් ඒ නිසා ඔයා මුලින්ම කරන්න ඕනේ තමන්ගේ capacity එක අදුරගන්න එක. ඊට පස්සෙ තමාට ඉටු කර ගැනීමට පහසු කෙටි ඉලක්ක ඇති කර ගනිමින් ඒවා හඹා යන්න පුරුදු වන්න. එවිට සාර්ථකත්වය නොදැනීම ඔයාට ලං වේවි.

හැමෝටම ප්‍රියමනාප වෙන්න

ඔයාට උපතින් ලද රූපය වෙනස් කිරීමට උත්සාහ කරනවට වඩා තිබෙන රූපය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන්න. ප්‍රියමනාප විදියට විලාසිතා කරන්න. පිළිවෙලට ජිවත් වෙන්න. සෞක්‍යාරක්ෂිත ආහාර වලට පුරුදු වෙමින් ඔයාගේ බර පාලනය කරන්න. ඒ විතරක් නෙමෙයි සැමටම එකම විදියට සලකන්න. ඕපාදුප සෙවීමට, කේලම් කීමට තමන්ගේ කාලය නාස්ති කරන්න එපා. මොකද අනුන්ගේ ආදරය සහ ගෞරවය නිරායාසයෙන්ම ලැබීම ඔයාගේ ආත්ම විශ්වාසය ඉහල යාමට මූලික හේතුවක් වෙනවා.

ඉතින් මේ විදියට තමයි කෙනෙක්ගේ බිද වැටුණු ආත්මවිශ්වාසය නැවත වර්ධනය කරගන්නේ . ආත්ම විශ්වාසය වර්ධනය වීම සිදුවෙන්නේ, තමන්ගේ යහපත් හැකියාවන් සහ ගුණාංගයන් තුළින් ලෝකයට යහපත් යමක් සිදුකිරීමෙන් සහ තමන්ගේ දුර්වලතාවයන් මගහැර ගැනීමෙනුයි. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් සර්වසම්පූර්ණ නැහැ. ඔයා ඔයාගේ හැකියාවන් ගැන දැනගන්න තරමටම, ඔයාගේ ආත්ම විශ්වාසයත් වැඩිවෙන බව මතක තියාගන්න. ආත්ම විශ්වාසයෙන් යුතුව ජීවිතයට මුහුණ දෙන්න, ජීවිතේ සාර්ථක කරගන්න.

Like
Like Love Haha Wow Sad Angry
71

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here