Like
Like Love Haha Wow Sad Angry

කාර්යබහුල ජීවිතයත් සමඟ දවසට තුන්වේලම උයන්න පිහන්න ඔයාට වෙලාවක් නැහැ. එහෙමත් නැත්නම් රෑට හදපු ව්‍යාංජන Fridge එකේ දාලා තියලා පසුවදා උදේට, තව දවස් දෙක තුනක්වත් කනවා. හැබැයි ඒ විදිහට කන එක ඔයාට හෝ පවුලේ අනිත් අයට එපා වෙන්න පුළුවන්.ඒ නිසා මං කියලා දෙන්නම් කල් තියාගන්න පුළුවන් ආහාර වර්ග 04ක් හදාගන්න හැටි

උම්බලකඩ බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

  • කෑලි කරගත් උම්බලකඩ 100g
  • කපාගත් ළූණු 750g
  • දිග අතට කපාගත් අමුමිරිස් කරල් 5-6
  • චොප්කරගත් සුදුළූණු බික් 5-6
  • කරපිංචා
  • කුරුඳු පොතු කෑලි කිහිපයක්
  • කරදමුංගු, කරාබුනැටි
  • කෑලිමිරිස් තේ හැඳි 1
  • ලුණු
  • සීනි මේස හැඳි 1/2
  • දෙහි යුෂ ස්වල්පයක්

සාදාගන්න ආකාරය

  • මුලින්ම ළූණු ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකල් බැදගන්න.
  • පසුව වෙනම ඇතිලියකට තෙල් ටිකක් දාලා රත්කරන්න.
  • එයට කරපිංචා, සුදුළූණු, අමුමිරිස්, කරදමුංගු, කරාබුනැටි, කුරුඳු පොතු කෑලි ටික දාලා බැදගන්න.
  • ඒකටම උම්බලකඩ කෑලි ටිකත් දාලා බදින්න.
  • හොඳින් බැදුනම ලිප් නිවා කෑලිමිරිස්, ලුණු, සීනි හා දෙහි යුෂ දාලා හොඳට කලවම් කරගන්න.
  • ඊටම කලින්ම බැදගත් ළූණු ටිකත් කලවම් කරගන්න.

සුදුළූණු අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය

  • සුදුළූණු 250g
  • අමුමිරිස් 100g
  • කැරට් අල 2ක්
  • විනාකිරි බෝතල් 1/2
  • මිරිස්කුඩු තේ හැඳි 1
  • කෑලි මිරිස් තේ හැඳි 1
  • කහ තේ හැඳි 1
  • අබ තේ හැඳි 1 1/2
  • ගම්මිරිස්
  • ඉඟුරු
  • මුරුංගා පොතු කිහිපයක්
  • කුරුඳු
  • ලුණු

සාදාගන්න ආකාරය

  • සුදුළූණු ටික සුද්ද කරගන්න.
  • කැරට් සාමාන්‍ය ප්‍රමාණයට දිග අතට කපාගන්න.
  • අමුමිරිස් ටික දිග අතට වෙන් නොවෙන විදියට පලාගන්න.
  • අබ, කහ, ඉඟුරු හා මුරුංගා පොතු, සුදුළූණු බික් දෙකක්,ගම්මිරිස් වලට විනාකිරි පොඩ්ඩක් දාලා අඹරගන්න.
  • මැටි වළඳක් අරගෙන ඒකට විනාකිරි වලින් බාගයක් හා ලුණු දාලා උතුරවගන්න.
  • දැන් එයට සුදුළූණු ටික දාලා කලවම් කරගන්න.
  • ඊටම කැරට් හා මිරිස් ටිකත් දාගන්න.
  • දැන් වෙනම මැටි හට්ටියකට ඉතිරි විනාකිරි හා අඹරාගත් අබ මිශ්‍රණය දාලා දියකරගන්න.
  • පසුව ඒකට තම්බගත්ත සුදුළූණු මිශ්‍රණය දාගන්න.
  • කුරුඳු පොතු කෑලි ටිකක් උඩින් දාලා හොඳට කට ගැට ගහලා දවස් 3කට පස්සෙ කෑමට ගන්න පුළුවන්.

කරවල මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය

  • කරවල කෑලි 200g (තලපත් හෝ කට්ටා)
  • විනාකිරි කෝප්ප 1/2
  • අමුමිරිස් 100g
  • මිරිස්කුඩු තේ හැඳි 1 1/2
  • රටඉඳි ගෙඩි 4-5
  • සීනි මේස හැඳි 3
  • ගම්මිරිස්කුඩු තේ හැඳි 1
  • ඉඟුරු තේ හැඳි 1
  • චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
  • ලුණු
  • තෙල්

සාදාගන්න ආකාරය

  • කරවල කෑලි කපලා ගැඹුරු තෙලේ බැදගන්න.
  • පසුව අමුමිරිස් ටිකත් වෙන් නොවෙන සේ පලලා තෙලට දාලා සාමාන්ය තරමට බැදගන්න.
  • මැටි භාජනයකට විනාකිරි දාලා රත් කරගන්න
  • මිරිස්කුඩු, සීනි, ගම්මිරිස්කුඩු, චොප්කරගත් ඉඟුරු, සුදුළූණු දාලා උතුරවගන්න.
  • එයට ඇට ඉවත් කර චොප්කරගත් රටඉඳි ටික දාලා අන්තිමට අමුමිරිස් හා කරවල ටික එකතු කරගන්න.
  • අවශ්‍ය නම් පමණක් ලුණු එකතු කරන්න.

දෙල් බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

  • දෙල් ගෙඩියක්
  • ලොකු ළූණු ගෙඩි 2ක්
  • කූණිස්සන්100g
  • කරපිංචා
  • රම්පා
  • එනසාල් ඇට කිහිපයක්
  • කරාබුනැටි 3-4
  • කුරුඳු පොතු කිහිපයක්
  • ලුණු
  • සියඹලා යුෂ ටිකක්
  • සීනි 30gක්

සාදාගන්න ආකාරය

  • දෙල් ටික තීරු කපලා කහ දාලා Mix කරන්න.
  • ළූණු ටික හීනියට කපාගන්න.
  • කූණිස්සන් සෝදලා ගරලා වේලගන්න.
  • පසුව දෙල් ටික ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකල් බැදගන්න.
  • කූණිස්සො ටික සහ ළූණු වෙනම තෙලට දාලා බැදගන්න.
  • ඉන්පසුව පෑන් එකකට තෙල් ටිකක් දාලා රත් කරගන්න.
  • තෙල් ටික රත්විගෙන එනචිට රම්පේ, කරපිංචා දාල බැදෙන්න අරින්න.
  • දැන් එයට සියඹලා යුෂ, සීනි, ලුණු, කුරුඳු පොතු, එනසාල් හා කරාබුනැටි එකතු කරන්න.
  • ඊටම කූණිස්සන් හා ළූණු ටික එකතු කරන්න.
  • අවසානයට බැදගත් දෙල් ටික දාලා කලවම් කරලා ලිප Off කරගන්න.
  • පසුව හුළං නොවදින තැනක අසුරගන්න.

මේ විදිහට කල් තියාගන්න කෑම ටිකක් හදලා තියාගන්න එක දුර ගමනක් යන්න, වෙන රටකට යන කෙනෙක්ට දෙන්න, සංචාරයේ යන කෙනෙක්ට, බෝඩිමක ජීවත් වෙන අයට ගොඩක් වැදගත්. රැකියාවට යන ඔයාටත් මේකෙන් වේල් කිහිපයක්ම පිරිමහගන්නත් පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here