Like
Like Love Haha Wow Sad Angry

අමු පහේ, බැදපු පහේ, මස්කාරි තුනපහ කියන්නේ ලංකාවටම අවේණික වූ විශේෂ පහේ වර්ග කිහිපයක්. රසට කෑම හදන්න නම් මේ දේවල් නැතුවම බැහැ. ඒ හින්දා ගෙදරදීම සුවඳට, රසට, පිරිසිදුවට මේ පහේ ටික හදාගත්තොත් කට රසට කෑම වේලක් කන්න ඔයාට පුළුවන්.

අමු පහේ

කිරට උයන ඕනම හොද්දකට මේවා පාවිච්චි කරන්න පුළුවන්. අමු පහේ වැඩි ප්‍රමාණයක් එකවර හදාගන්නෙ නැතුව පොඩි ප්‍රමාණ හදාගන්න. මොකද වැඩි කාලයක් තියාගත්තොත් මේවායේ රස සහ සුවඳ නැතිවෙලා යනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොත්තමල්ලි ඇට 500g ක්
  • සූදුරු 160g ක්
  • මාදුරු තේ හැඳි 2 1/2 ක්
  • කරදමුංගු ඇට 8ක්
  • කරාබු නැටි 15 ක්
  • කුරුඳු අඟල් 10 ක්
  • සේර අඟල් 10 ක්
  • රම්පේ අඟල් 8 ක්
  • කරපිංචා ඉති 5 ක්
  • හාල් තේ හැඳි 8 ක්
  • වියළි කහ අඟල් 1/2 කෑල්ලක්

සාදාගන්න ආකාරය

මේ සියළුම ද්‍රව්‍ය එකවර සුවඳ හමන තුරු පමණක් තැටියක දමා බැදගන්න. මදක් නිවුණු පසු සියල්ල Blender කර කුඩු කරගෙන හොඳින් නිවා බෝතලයකට දාන්න.

බැදපු පහේ

රසට සැරට උයන පොළොස් මාළුවක්, ඌරු මස් කරියක්, සෝයා මීට් කරියක් රස ගන්වන්න බැදපු පහේ නැතුවම බැහැ. බැදපු පහේ හදනකොට කුළුබඩු ටික වෙන වෙනම බැදගන්න එක අනිවාර්යයයි. එකට බදිනකොට එක එක කුළුබඩුව බැදෙන්නෙ එක එක ගාණට නිසා රස සහ පාට එකම විදිහට තියාගන්න ඕන.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොත්තමල්ලි ඇට 500gක්
  • සූදුරු 160g ක්
  • මාදුරු 15g ක්
  • කරදමුංගු ඇට 8 ක්
  • කරාබු නැටි 15ක්
  • කුරුඳු අඟල් 10 ක්
  • සේර අඟල් 10 ක්
  • රම්පේ අඟල් 8 ක්
  • කරපිංචා ඉති 6 ක්

සාදාගන්න ආකාරය

  • මේ සියළුම ද්‍රව්‍ය වෙන වෙනම රන්වන් දුඹුරු පැහැයක් වනතුරු බැදගන්න.
  • පසුව මදක් නිවෙන්නට හැර Blender කරගන්න.
  • හොඳින් නිවුණු පසු සුළං නොවදින සේ වීදුරු බෝතලයක අසුරාගන්න.

මස් කරි තුනපහ

ඕනම මස් වර්ගයක් උයාගන්න පාවිච්චි කරන්න මේවා භාවිතා කරන්න පුළුවන්. මේ පහේ එක පාවිච්චි කරනව නම් මස් වලට අමතරව මිරිස් එකතු කරන්න ඕන නැහැ. එකත් ටික ටික හදලා තියාගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොත්තමල්ලි ඇට 100g ක්
  • මාදුරු 100g ක්
  • සූදුරු 100g ක්
  • උළු හාල් 20g ක්
  • කරදමුංගු ඇට 20 ක්
  • කරාබු නැටි 20 ක්
  • කුරුඳු අඟල් 4 ක්
  • අබ 20g ක්
  • වියලි කහ අඟලක කෑල්ලක්
  • වියලි මිරිස් කරල් 150g ක්
  • සේර අඟල් 5 ක කෑල්ලක්
  • කරපිංචා ඉති 6 ක්
  • හාල් මේස හැඳි 2 ක්

සාදාගන්න ආකාරය

  • සියළුම ද්‍රව්‍ය වෙන වෙනම රන්වන් දුඹුරු පැහැයක් වනතුරු බැදගන්න.
  • පසුව මදක් නිවෙන්නට හැර Blender කර කුඩු කරගන්න. හොඳින් නිවුණු පසු සුළං නොවදින සේ වීදුරු බෝතලයක අසුරාගන්න.

ගොඩක් වෙලාවට ඔයා මේ පහේ වර්ග ගන්නේ කඩෙන්. හැබැයි මේ සමහර පහේ වර්ග වල කිසිම නැවුම් බවක්, සුවදක් නැහැ. මොකද කඩවල් වල තියෙන සමහර පහේ වර්ග orijinal ඒවා නෙවෙයි. ඇතැම් අමුද්‍රව්‍ය එකතු කරන්නෙත් නැහැ.තවත් සමහර අමුද්‍රව්‍ය බාල ඒවා. ඒ නිසා මේ විදහට පහේ වර්ග ටික ගෙදරදීම හදාගන්න. ඒවායේ නැවුම් බව, රස ඒ විදිහටමට ඔයා අත්විදින්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here